“අපේ ලොකු මහත්තයට විරුද්ධව හෙම මොනවත් ලියනවා නෙවෙයි!”
නිර්පාක්ෂික සකලසූරිය එසේ පැවසුවේ මා වෙත දබරැඟිල්ල ඔසවමිනි.
“පිස්සුද සකලේ. මම කවදාවත් එතුමට විරුද්ධව ලියලා තියෙනවද? මම විරුද්ධ වුණේ විධායක ජනාධිපති ධූරයටනේ. ඒකට එතුමත් විරුද්ධයිනේ”
“ඒ වුණාට මට ඔහෙලව විශ්වාස නෑ.”
“ඇයි සකලේ එහෙම කියන්නේ?”
“ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලෙන් තෑග්ගක් දුන්න එකට මාධ්‍යවේදියෝ ඇනුම්පද කියලා තිබුණනේ”
“ඒකනම් වැරදියි තමයි”
“මොකද්ද වැරැද්ද?”
“එතුමට දොස් කියන එක.. අපි වුණත් පෙන්ෂන් ගන්නකොට, ඔෆිස් එකේ යාළුවෝ තෑග්ගක් දෙනවනේ. ඒක ලෝක චාරිත්තරයක්නේ.”
සකලසූරිය තවත් මොහොතක් මා දෙස සැකයෙන් බලා සිට ආපසු ගියේය.
සමහරු කියන විදිහට නම්, විශ්‍රාම යන ජනාධිපතිතුමාට එක ගෙයක් නොව ගෙවල් දෙකක් දුන්නත් මදිය. මන්දිර දෙකක්ම එක්කොට තැනූ පූට්ටු නිල නිවාසයක්ම තෑගි කිරීමට කැබිනට් සගයින් තීරණය කරන්නට ඇත්තේ ද එහෙයිනි. පාර්ලිමේන්තුවේ සිටින්නේ සතුරු - මිතුරු භේදයකින් තොරව එකිනෙකාට දුකේදී සැපේදී පිහිටවන, කළගුණ සලකන, සත්ගුණවත් පිරිසක් බව සනාථ වන මෙබඳු සිදුවීම් මීට පෙර ද දක්නට ලැබුණි.
මෙය මුළුමහත් ලෝකයටම ආදර්ශයකි. මීට පෙරද සිරි ලංකාවේ දේශපාලනඥයන් ලෝකයට ආදර්ශ හා අවවාද උපදේශ දුන් අවස්ථා බොහෝය. ඒවා හිස මුදුනින් පිළිගත් විදෙස් රටවල්, දිනෙන් දින දියුණුවට පත් වූ අතර, අප හිටි තැනමය. නැත්නම් ඊටත් පිටුපසය.
ජේ. ආර්. ජයවර්ධන මහතා, ජපානයට ගිය අවස්ථාවක ‘වෛරයෙන් වෛරය නොසන්සිඳේ’ යන බුදු වදන් සිහිපත් කර, ලෝකයටම පණිවිඩයක් දුන්නේය. එතුමාගේ පාලන කාලයේදී එය මෙරට ද ක්‍රියාත්මක වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පුරවැසි අයිතිය තහනමට ලක් කිරීම, 80 වැඩ වර්ජකයින්ගේ රැකියා අහිමි කිරීම, විජය කුමාරණතුංග සිරගත කිරීම හා මහර ඡන්දයෙන් පරාජය කරවීම වැනි මෛත්‍රී සහගත ක්‍රියාවන් තුළිනි. ලෝකට පරකාසේ ගෙදරට මරගාතේ යන කියමන යළි සිහිපත් වන්නේ මෙවැනි උතුමාණන් වහන්සේලා නිසාය. ජේ. ආර්. ගිය පාරේ නොගිය නමුදු, වර්තමාන ජනාධිපතිතුමා ද ඊයේ පෙරේදා ජපානයට ගියේය. එතුමා එහිදී කුමන ගාථා ධර්මයක් දේශනා කළේ දැයි කීමට අපි තවම නොදන්නෙමු. (මෙය ලියන මොහොත වනවිට) එහෙත් පරාභව සූත්‍රය පිළිබඳව ජපනුන්ට කියා දීමට එතුමාට ඇති සුදුසුකම් බොහෝය.
අපේ කන්තෝරුවේ රොබින් (‘හීසරය’ කියවන ඔබ ඔහු හොඳින් දනී) පවසන අන්දමට ජනාධිපතිතුමා ජපානයට යන්නේ ‘අන්තිම ලාස්ට්’ ට්‍රිප් එක හැටියටය. ඡන්දයට ඉදිරිපත් නොවී ස්වාධීනව සිටි නිසා එතුමාට මේ දවස්වල කරන්නට දෙයක් ද නැත. බොහෝ දේ කරනවා යැයි කියාගෙන නිර්පාක්ෂික ජනාධිපති වූ නමුත්, හරිහමං දෙයක් කරන්නට ද ලැබුණේ නැත. අඩුම වශයෙන් එල්ලුම් ගහේ කඹයක්වත් ගෙනෙන්ට ලැබුණාදැයි නොදනිමු. එතුමාම කී අන්දමට කිසිදු වැඩක් සඵල කර ගැනීමට නුදුන්නේ එක එකා කකුලෙන් ඇදපු නිසාය.
ජනපතිකමින් වැඩක් ගන්නටත් බැරි වුණි නම්, ජනපති වරප්‍රසාද යොදාගෙන විදේශ සංචාරයන්හි යෙදීම ගැන අප නම් එතුමාට දොස් කියන්නේ නැත. එහෙත් අපේ රොබින්ගේ අදහස නම් එබඳු ගමන් ජනතාවගේ මුදලින් ආතල් ගැනීමකි.
ජනාධිපතිවරුන් පමණක් නොව සිරි ලංකාවෙන් විදෙස් රටවලට යන තව තවත් උදවිය වරින් වර මෙරටට මහත් කීර්තියක් ලබා දෙන බව රොබින්ලා වැනි සාමාන්‍ය රටවැසියන්ට නොවැටහීම කනගාටුවට කාරණයකි. ප්‍රිය සම්භාෂණයක් සඳහා මැදපෙරදිග ගිය කණ්ඩායමක් ද මව්බිමට විශාල කීර්තියක් ලබා දුන් බව දැන් අපේ ජනතාවට අමතකය.
කැලණි ගඟේ පාවෙන්නේ නිල් උණ බම්බු
මොරටු කොල්ලො ගිය ගිය තැන ගන්නෙම නම්බු
පසුව, එක් එක් පළාත්වල උදවිය වාද බයිලා ගායනය කරන අවස්ථාවලදී මෙය තම තමන්ට අදාළ වන ලෙස වෙනස් කර ගත්හ.
මේ දිනවල නම් වාද බයිලා ඇසෙන්නේ මොරටු පැත්තෙන් නොවේ. දේශපාලන වේදිකාවෙන් සහ රෑපවාහිනී සංවාද වැඩසටහන් තුළිනි. ඒවා බලා සිටින අපට ද “අනේ මෙහෙම බයිලා” යැයි කියැවෙයි. නිදහස ලැබූ දා සිට අප අසා ඇති බයිලා ප්‍රමාණය කොතරම් දැයි සිතෙන විට, ජාතික ගීයටද බයිලා තනුවක් නොදැමීම පුදුමයකැයි හැඟේ.
රටින් රට ගොස්, තම රටට ගරු නම්බු ලබා දෙන උදවිය ගැන අසා ඇති කතා අතරට එක්වූ අලුත්ම කතාවකින් අද ‘හී සරය’ නිමා කරමි.
ධවල මන්දිරයේ තීන්ත ගෑමට අවශ්‍ය වූයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සඳහා මිල ගණන් කැඳවීය. මුලින්ම ඉදිරිපත් වූයේ චීන ජාතිකයෙකි. ඔහුගේ මිල ගණන මිලියන තුනකි.
“මිලියන තුනක් වියදම් වෙන්නෙ කොහොමද?”
ට්‍රම්ප් ඇසීය.
“මිලියන එකක් තීන්තවලට. මිලියන එකක් කම්කරු කුලිය. අනික් මිලියනය මගේ ලාභය”
ඊළඟට පැමිණි ඉන්දියානුවා මිලියන හතක් ඉල්ලීය. ට්‍රම්ප් පෙර ප්‍රශ්නයට ඇසීය. ඉන්දියානුවා මෙසේ පිළිතුරු දුන්නේය.
“මිලියන තුනක් තීන්තවලට. මිලියන දෙකක් කම්කරු කුලිය. මිලියන දෙකක් මගේ ලාභය”
තෙවනුව පැමිණියේ සිරි ලාංකිකයෙකි.
“කීයද ඔබ බලාපොරොත්තු වන මිල ගණන?”
ට්‍රම්ප් ඇසීය.
“මිලියන දහයක්”
“එච්චර මොකටද?” ට්‍රම්ප් නළල රැළි කර ගත්තේය.
“මිලියන තුනක් ඔබතුමාට කොමිස්. මිලියන හතරක් මට. ඉතිරි මිලියන තුන චීනෙට දීලා වැඩේ කරගමු.”
ඔන්න අපේ වැඩ! කාටද ආඩම්බර?
- කපිල කුමාර කාලිංග